Tuesday, November 18, 2014

ඕසෝන් වියන යථා තත්ත්වයට පත් වෙමින් තිබේ

දිගු කාලයක්‌ තිස්‌සේ ගැටලුවක්‌ ව පැවැති ඕසෝන් වියන තුනී වීමේ ගැටලුව ක්‍රමයෙන් විසඳී එම වායු සාන්ද්‍රණය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.

විශාල විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද ඇගැයීමකින් අනාවරණය වී ඇති ආකාරයට ඉදිරි දශක කිහිපයක කාලය ඇතුළත ඕසෝන් ස්‌තරය යථා තත්ත්වයට පත් වීමේ ලකුණු තිබේ. ඒ අනුව මේ සියවසේ මැද භාගයේ දී පමණ වන විට, මධ්‍ය අක්‌ෂාංශ ප්‍රදේශවල හා ආක්‌ටික්‌ ප්‍රදේශවල ඉහළ ස්‌තරගෝලයේ ඕසෝන් මට්‌ටම 1980 දශකයේ දී පැවැති ඕසෝන් මට්‌ටම හා සමාන මට්‌ටමක්‌ දක්‌වා ළඟා වනු ඇත. කෙසේ වෙතත් ඇන්ටාක්‌ටික්‌ ප්‍රදේශයට ඉහළ ස්‌තරගෝලයේ පවත්නා ඕසෝන් සාන්ද්‍රණය යථා තත්ත්වයට පත් වීමට ඊට වඩා කල් ගත වනු ඇත.

ඕසෝන් ස්‌තරය ආරක්‌ෂා කිරීමට ගත් පියවර නිසා ඉහළ වායුගෝලයේ ඕසෝන් සාන්ද්‍රණය අඩු වීම 2000 වර්ෂයෙන් පසුව නැවතුණු අතර, එය යළිත් අතීතයේ පැවැති තත්ත්වයට ළඟා වීමට කලක්‌ ගත වන බව විශ්වාස කරන ලදී. ඒ ගැන සාධක මෑත කාලයේ සිට ලැබෙන බව පෙනේ. මොන්ටි්‍රයල් සන්ධානය යටතේ සමස්‌තයක්‌ ලෙස ලෝකය ගත් පියවර ඉතා වැදගත් වී තිබේ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස පාරජම්බුල කිරණ පොළොව මතට පතනය වීම නිසා ඇති විය හැකි ව තිබූ මානව සෞඛ්‍ය බලපෑම් හා කෘෂිකර්මයට හා වනජීවීන්ට ඇති විය හැකි බලපෑම්

රැසක්‌ වැළකී යනු ඇත. (මූලාශ්‍රය: United Nations Environment Programme - Ozone Secretariat http://ozone.unep.org/)

කාබන්ඩයොක්‌සයිඩ් විමෝචනය ඉහළට

1984 වර්ෂයෙන් පසු ගත වූ කාලය ඇතුළත කාබන් ඩයොක්‌සයිඩ් වායු මට්‌ටම වැඩි ම වේගයකින් ඉහළ ගොස්‌ ඇත්තේ 2013 වර්ෂයේ දී බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය වාර්ෂිකව නිකුත් කරන "හරිතාගාර වායු සංග්‍රහයේ" (WMO Greenhouse Gas Bulletin) 10 වැනි අංකයේ සඳහන් කරයි. 2013 දී වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 2.9ක (ppm) ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ තිබේ. මේ අනුව 2013 වර්ෂයේ, ලෝක වායුගෝලයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ සාමාන්‍යය මිලියනයකට කොටස්‌ 396කි. එය කාර්මිකකරණයට පෙර පැවැති අගය මෙන් 142%ක්‌ පමණ වේ.

මේ ආකාරයට කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ඉහළ යැමට හේතුව හුදෙක්‌ කාබන් ඩයොක්‌සයිඩ් විමෝචනය ඉහළ යැම පමණක්‌ නො වන බව පෙන්වන මේ ලේඛනය, පෘථිවියේ ජෛවගෝලයෙන් කාබන් ඩයොක්‌යිඩ් අවශෝෂණය කිරීම අඩු වීම ද හේතුවක්‌ විය හැකි බව දක්‌වයි.

2013 දී මීතේන් හා නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් සාන්ද්‍රණය මෙතෙක්‌ වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කර ඇත්තේ පිළිවෙළින් බිලියනයකට කොටස්‌ 1824 හා 325.9 යන මට්‌ටම්වලිනි. එය කාර්මිකකරණයට පෙර පැවැති සාන්ද්‍රණය මෙන් 253% හා 121% පමණ ඉහළ මට්‌ටමකි.

උක්‌ත වාර්තාවේ සාගරයේ ආම්ලිකකරණය පිළිබඳ කරුණු දක්‌වා ඇති අතර, එය වසර මිලියන 300ක කාලයක්‌ තිස්‌සේ පැවැති ඉහළ ම අගය බව ද පෙන්වා දී ඇත. (මූලාශ්‍රය:WMO Greenhouse Gas Bulletin No 10, September 2014, www.wmo.int/pages/prog/arep/gaw/ghg/GHGbulletin.html)

No comments:

Post a Comment